Friday, February 16, 2018

ජවිපෙ , ඉතින් ඊට පස්සෙ





පළාත් පාලන මැතිවරණය අවසන් විය. එම මැතිවරණය තුල කන්දක් උසට බලාපොරොත්තු තබා සිටි ජනතා විමුක්ති පෙරමුණ තවත් වරක් පහලට ඇද වැටී ඇත. පසුගිය මැතිවරණ කිහිපයකදීම ජවිපෙ ඉහළ ප්‍රතිඵල අපේක්ෂා කරගෙන සිටියද දිගින් දිගටම ඒවා බොඳවූ සිහින බවට පත්ව තිබේ. එසේ වන්නේ ඇයි?
මට වැටහෙන පරිදි නම් ජවිපෙ දිගින් දිගට සහභාගී වෙමින් සිටින්නේ තමන්ට අදාළ නොවන තරඟයකටය. ධනවාදී ක්‍රමයක් තුල ගොඩනැගී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයක් තුල වාමවාදී පක්ෂ වල තරඟ වැදීම දිගින් දිගටම අසාර්ථක උත්සහයන් බව ඉතිහාසය දෙස් දෙයි. දිගින් දිගටම අදාළ නොවන තරඟයකට සහභාගී වීම හරහා ජවිපෙ තම වටිනාකම් අහිමි කරගනිමින් සිටින අතර, වඩා ශක්තිමත් ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුල තම පක්ෂය දිය කරගනිමින් සිටී. එම පරාජයන්ගෙන් ගැලවීම සඳහා ක්‍රම ක්‍රමයෙන් නොගැඹුරු ජනප්‍රියවාදී ඇඳුම් ඇඟලා ගැනීමට ඔවුන්ට සිදුවෙමින් ඇත. එම පොප් ඇඳුම් ඇඟලාගත් පසු ජවිපෙ සද්දෙට ගැසූ එකම  එකම බෙර පදය වූයේ දූෂණ විරෝධී බෙර පදයයි.  ජවිපෙ දූෂණ විරෝධී සටන් පාටය තෝරා ගත්තේ එය ඉතා පහසුවෙන් සෑම දෙනාටම තේරුම් කල හැකි මාතෘකාවක් නිසා විය යුතුය. එය සෑම දෙනා එක් කළ හැකි සටන් පාඨයක් ලෙස ඔවුන් සිතුවා විය හැක. නමුත් මහා පරිමාණ සොරකම් යනු තවදුරටත් අපිව පුදුම කරවන හෝ කම්පා කරවන ප්‍රවෘතියක් නොවේ.  දූෂණ වංචා යනු අපේ ඇඟට ඒ තරමට පත්තියම් වූ දේය. වසර ගණනාවක් පුරා පවතින අන්ත දූෂිත පාලන තන්ත්‍රයකුත්, දූෂිත ජනතාවකුත් වෙසෙන රටකට දූෂණ විරෝධී බෙර පද යනු අලුත් නැටුමකට ඇරයුම් කරන තාලයක් නොවේ.

රාජපක්ෂ යනු හුදු පුද්ගලයෙකු නොව දේශපාලන ප්‍රවාහයක් බව මේ මැතිවරණයෙන් නැවත අපිට ඉඟි කර ඇත. ඔහු තම වසර 10ක පාලන කාලය තුල බිහි කළ හෙජමොනික ස්ථාවරත්වය යනු ජාති සහ ආගම්වාදයයි. උතුරේ පැවති සන්නද්ධ මෙහෙයුම අතරතුර නිශ්චිත දෘෂ්ටිවාදී මෙහෙයුමක් එදවස දකුණේ  ක්‍රියාත්මක විය. එය සන්නද්ධ මෙහෙයුමෙන් පසු වඩා තීව්‍ර එකක් බවට පත්වූ අතර ඒ තුලින් උත්කර්ෂයට නැංවූ ජාතිය සහ ආගම පිළිබඳ චින්තාව යනු ජන මනස් වල ගැඹුරටම කාවැදුනක් බවට සැක නැත. පළමුව රටේ ආරක්ෂාව සහ ස්ව්යිරීත්වය වෙනුවෙන් කුලු ගැන්වුනු ඒ ගැඹුරු හැඟීම යුද්ධයෙන් පසු දේශපාලන බලය තර කරගැනීමට අනාචාරයේ යෙද්වූවක් විය. දකුණේ එය අනාචාරයේ යැවුනේ කෙසේද, එය එලෙසින්ම උතුරේ දමිළ ජාතිවාදීන් විසින් අනාචාරයේ යැවිණි. 

ජනවාරි 8 පෙරළියෙන් පසු යහපාලන රජය සංහිඳියාව තකා පියවරක් දෙකක් තබන්නට උත්සහ ගද්දීම දකුණෙන් ඊට එරෙහිව දැමුණාවූ කකුල් මාට්ටු නිසා එය කොර අනිමින් යන ගමනක් බවට පත් විය. ජනවාරි 8ට පෙර පැවති ජාති වාදය තම ජාතිය හා ආගම උත්කර්ෂයට නංවන්නක් වුවද ඉන් පසුව නැගී එන නව ජාතිවාදී නැම්ම ජාතියේ හා ආගමේ පැවැත්ම සහ ආරක්ෂාව ගැන මතුවූ බියෙන් සහ සැකයෙන් යුතු වූ ආරක්ෂණ ව්‍යාපෘතියක ස්වරූපයක් ගති. මහ ජාතිය, සුලු ජාතීන් විසින් තම සංස්කෘතිය ආක්‍රමණයට ලක් කරනු ඇතැයි යන බියක් ඇතිකරගත් අතර සුපුරුදු පරිදි සුලු ජාතීන්, මහ ජාතීන් විසින් තම් අයිතීන් දිගින් දිගටම පාගා දමන බවට වන ස්ථාවරය තවත් ශක්තිමත් කරගත්හ. ගෙවී ගිය කාලය පුරා මේ හැඟීම් දෙකින් වසාගත් උතුරේ සහ දකුණේ ධ්‍රැවීකරණ ක්‍රියාවලිය යනු අනවරත එකකි.

 යහපාලන රජයට දකුණේ වූ ජාතිවාදී දෘෂ්ටිවාදයන් ඇමතීමට තරම් පැහැදිලි කටහඬක් තිබුණේ නැත. එය බැරෑඬි හඬින් වචනයක් දෙකක් කියා නිහඬ වූවා මිස දකුණේ ජාතිවාදී දෘෂ්ටීන් සමග මුහුණට මුහුණලා සිටගන්නට ගියේ නැත. දකුණේ ඇතිවෙමින් ඇති සැක සංකා වලට පිළිතුරු සැපයීම ඔවුන් විටෙක බියෙන්ද තවත් විටෙක අවඥාවෙන්ද බැහැර කළහ. රජයේ හඬ එසේ නිහඬ වී යද්දී ජවිපෙ ප්‍රමුඛ වාමාංශික ව්‍යාපාරය කළයුතුව තිබුණේ නිසි බුද්ධිමය කතිකාවක් ජාතිවාදයට එරෙහිව ඇරඹීමත්, එය සාමාන්‍ය ජනයා අතරට තේරෙන සිංහලෙන් ගෙනයාමත්ය. යම් යම් වාමාංශික ව්‍යාපාර එම සටනේ බුද්ධිමය කොටස ඉටුකරන්නට උත්සහ ගත්තද එය සාමාන්‍ය ජන විඥානයට අමතන්නට තරම් සුමට වූයේ නැත. රජය එම අභියෝගය නොදුටුවා සේ සිටීමත් , ජවිපෙ විසින් එම අභියෝගය දූෂණ වංචා මාතෘකාවෙන් වසා දැමීමත් නිසා , නිසි පිළිතුරු හෝ ආමන්ත්‍රණ නොලැබුණු ජාතිවාදී කතිකාව දිගින් දිගටම කෙරීගෙන ගියේය. එය විසින් ජනයා තුල රටේ ආරක්ෂාව ගැන බියකුත්, තම ජාතිය සහ ආගම පෙරටු කරගනිමින් ලාංකීයත්වය අමතක කරනා නැඹුරුවකුත් ඇතිකරන ලදී. සරළවම කියනවානම් රාජපක්ෂ හෙජමොනිය දිගින් දිගටම ජන මනස් තුළ හොල්මන් කරමින් පැවතියේය. එහි ප්‍රතිඵල මේ මැතිවරණය තුලින් පෙන්වාදී ඇත. එය දකුණේ පමණක් නොව දිගින් දිගටම දෙමළ ජාතිවාදය දෙසට විතැන් වන උතුරේත් එසේමය.

නිදහසින් පසු මේ දක්වාත් අපි ලාංකීය චින්තනයක් තුල  සියලු ජාතීන් ගොනු කිරීමට අපොහොසත්වී සිටිමු. දිගින් දිගටම ජාතිවාදය නිසා දෙපසට, තුන් පසට වෙන්වන ජනයා එක් තැනකට ගෙන ඒමේ වැධගත් උත්සහය ජවිපෙ විසින් ඉතිහාසය පුරා පසුපසට දමා ඇත. මුලදී නිසිමග සිටි සාම්ප්‍රදායික වමේ පක්ෂද මැතිවරණවලට ඉදිරිපත්වීමේ නොගැලපෙන තරඟයට ගොස් ජාතීවාදය වැලඳගත්හ. ඒ නිසා වසර 70ක කාලයෙන් බොහෝ ප්‍රමාණයක් අපි ගෙවා ඇත්තේ ජාතිවාදයට එරෙහිව හඬනගනා , ජන මනස් බුද්ධියෙන් පුරවනා, ශක්තිමත් වාමාංශික ව්‍යාපාරයකින් තොරවය.

ඒ අඩුව භාවිතයට ගනිමින් මෙරට දක්ෂිණාංශික බලවේග දිගින් දිගටම ජාතිවාදී හැඟීම් දඩමීමා කරගනිමින් මෙරට ජනවිඥානය හසුරුවමින් සිටී. අපේ රටේ පාලක තීරුව පසු ගිය කාලය පුරා දැරිය නොහැකි තරම් පුලුල් වෙමින් ඇත. පාර්ලිමේන්තුව තුල පවතින අතිවිශාල ඇමති මණ්ඩලය අඩු කිරීමේ සිහිනය දැන් දශකයකටත් වඩා කලක් සිහිනයක් බවටම පත්ව ඇත, එමෙන්ම පාර්ලිමේන්තු මංත්‍රීන් ගණන වැඩි කිරීමටත් ව්‍යවස්තා යෝජනාවේ දැක්වේ, පළාත් සභා සුදු අලියෙක් බවට අපි උපන්දා සිටම කියවේ, ඒ අල්ල පනල්ලේ පළාත් පාලනයට මෙවර අලුතෙන් 4000කට වඩා පත්වේ. නමුත් ජවිපෙ මේ ගැන නිහඬය. නැතිනම් දුන්නේ ඇල් මැරුණු පතෝල ගනයේ උත්තරය. එයට හේතුව ජවිපෙ මේ මැතිවරණ උගුලේ සිරවී සිටීමයි. තම නියෝජිතයන් වැඩි ගණනක් පාලන තන්ත්‍රය තුලට දමා ගැනීමේ හැකියාවක් හමුවේ ජවිපෙ හඬ බැරෑඬි විය. ජනයාට දැරීමට සිදුවන අමතර බරට එරෙහි සටන පසුවට කල් දැමීමටට ඔවුහු තීරණය කළහ. ඒ මෙවර මැතිවරණයෙන් තමන්ට ඉහළ නියෝජිත කෝටාවක් ලැබෙනු ඇතිය යන ඊනියා සිහිනය මුල් කරගෙනය.

ඉතිහාසය පුරාම ජයගත නොහැකි, නොගැලපෙන, මැතිවරණ උගුලෙහි හිරවෙන වාමාංශික ව්‍යාපාරවලට සිදුවූයේ මෙවැනි ජනප්‍රියවාදී රැළි හමුවේ ගසාසෙන යාමටය. එනිසා දැන්වත් මේ මැතිවරණ දිනීමේ සිහිනයෙන් ජවිපෙ ප්‍රමුඛ වාමාංශික සංවිධාන ඇහැරෙන්නේ නම් මැනව. අවැසිව ඇත්තේ පුරවැසියා ජාතිවාදයෙන් හා ආගම් වාදයෙන් ගලවා ගත හැකි සමාජ ව්‍යාපාරයකි. එය පුරවැසියා දේශපාලන දැනුමෙන් සන්නද්ධ කරන්නක් විය යුතුය.වත්මන් ලාංකිකයා යනු දේශපාලන බුද්ධියෙන් හීනවූ , ඕනෑම කුණුගොඩක් විශ්වාසයට ගෙන රට ගිනි තියන පන්නයේ වගකීම් විරහිත දේශපාලන සත්වයෙකි. ඒ දැනුම් විරහිත භාවය නිසාම මෙරට දේශපාලන පක්ෂ විසින් ඔවුන්ව අල්ලේ නටවමින් සිටී. 
ජාතිවාදි හරණයවූ , නිසි දේශපාලන දැනුමෙන් යුතු පුරවැසි සමූහයක් ශක්තිමත් සමාජ ව්‍යාපාරයක් වටා එක්වූ කළ එය හොඳ පීඩන කණ්ඩායමක් වනු ඇත. අද දවසේ වමේ මෙහෙයුම විය යුත්තේ මේ වගකීමක් ඇති පුරවැසියා බිහි කිරීමේ මෙහෙයුමයි. එය සමාජවාදය බිහි කරන්නක් නොව ධනවාදය තුල දේශපාලන විඥානය වඩා හොඳින් කළමණාකරනය කළ හැකි ජනතාවක් බිහි කිරීමේ මෙහෙයුමකි. මේ මොහොතේ විය හැකියාවක් නැති සමාජවාදයේ සිද්ධාන්ත මෙලෝ යකෙකුට නොතේරෙන මහප්‍රාණ සිංහලෙන් දේශනා පවත්වන ගුහාගත බුද්ධිමය වාමාංශික ව්‍යාපාරත් , වත්මන් ජනප්‍රිය මැතිවරණ සිතියම් තුල පස්ස බිම ඇනගන්නා කරනම් ගසමින්, තම වටිනාකම් වේගයෙන් සිඳගනිමින් සිටින ජවිපෙත් එක අරමුණක් වෙනුවෙන් වහා පෙලගැසියයුතු මොහොත උදාවී අවසානය. කාලය වේගයෙන් ගෙවී යමින් ඇත. ජාතිවාදී අගල නැවත කපා ඇති බව අමතක නොකරන්න. හෙට දවසේදී ගඟ වේගයෙන් ආපස්සට ගැලීමට නියමිතය.

No comments:

Post a Comment