Friday, September 29, 2017

ආශාවරී 5 - පියුමි හෙවත් ආරියවතී






දවස පුරාම බුම්මාගත්වනම සිටි අහස  සවස් භාගය එළඹෙත්ම ගුගුරා හැලෙමින් පොළව තෙමන්නට ගත්තේ කිසිදු අනුකම්පාවකින් තොරවය. අනෝරා වැස්සේ වූ චණ්ඩ බවිනුත් තම විසල් නිවස අරක්ගත් මහා පාලුවෙනුත් පෙලනු ලැබූ ඒබරන් තම වයලීනය අතට ගත්තේය. ඔහු වයලීනය අතට ගත්තේ වසර 5කට පමණ පසුය. මදක් නුහුරට මෙන් ඔහු වයලීනයේ තත් එකින් එක හැඬවීය. ඉන් නැගුණු ලයාන්විත නාදය ඔහුට දැනුනේ වසර ගණනක් වෙන්ව සිටි හෘදයාංගම මිතුරෙකුගේ කටහඬක් මෙනි. ඔහු මෙලොව සම්පූර්ණයෙන්ම අනාතව නැති බව ඒ ලබැඳි හඬ ඔහුට සිහි කරවයි. ඔහුගේ සිත ඒ හඬ ඔස්සේ වහ වහා අතීතයට දිවයයි. 

තමන් පළමු වරට කාල දොරටුව හරහා  අනාගතයට පැමිණි අයුරු ඔහුගේ දෑස් ඉදිරියේ මැවේ. තම සොහොයුරු සුන්දර අප්පුත් , ඔවුන්ගේ ඇඹේනිය වූ ආරියවතීත් සමග පැමිණි ඒ අරුම පුදුම ගමන නොසිතූ විරූ ලෙස කෙළවර වූයේ ඒබරන් අප්පු අංගොඩ මානසික රෝහලේ නේවාසික රෝගියෙක් බවට පත්වීමෙනි. එදා රෑ තම සොයුරා දුන් සමහන් පැකට්ටුව කටේ හලාගත් ඒබරන් අම්මා මුත්තා සිහිවී නිරුවතින්ම මහ පාර දිගේ දිවූ දිවිල්ල කෙලවර කරගන්නට වූයේ කොල්ලන් රැලකගෙන් හොඳ හැටි ගුටි කා පළමුව පොලීසියටත් ඉන්පසු මානසික රෝහලටත් බාරදීමෙනි. එදවස, ඔහුට මේ අරුම පුදුම ලෝකයේ කිසි දෙයක් වටහාගන්නට හැකි වූයේ නැති. මානසික රෝහලේ ගෙවුනු වසර ගනනක කාලය තුල ඔහු ටිකෙන් ටික මේ අනාගත ලෝකය තම වර්තමානය හා ගලපාගන්නට පුරුදු වුනේය. මානසික රෝහලේදී ඔහුගේ යහපත් කල්ක්‍රියාව නිසා ඔහුට සංගීතය හැදෑරීමේ වරම් ලැබිනි. එහි අවසානය වූයේ ඒබරන් මුලු රටක් හඳුනන ගායකයෙක් හා වාදකයෙක් බවට පත්වීමයි. මානසික රෝහලෙන් නිදහස් වූ මුල් දිනයේම ඔහු කලේ තම සහෝදරයා වූ සුන්දර අප්පුත් , ඔවුන් එක ගේ කෑ සුරූපී හා සරාගී ගැහැණිය වූ ආරියවතීත් සොයා යෑමයි. ඒ නිමක් නැති සෙවිල්ල අවසන් වූයේ සමන්තභද්‍ර නම් රහතන්වහන්සේ නමකගේ ආශ්‍රමයෙනි. ඒ තම සොහොයුරා උන් වහන්සේ ආශ්‍රයෙහි මහණදම් පුරන බව සොයා ගැනීමත් සමගය. 

කාල දනව්වේ සුමන නමින් පැවිදි දිවියට පිවිස තිබූ තම සොහොයුරා ඒ වන විටත් ඉතා ප්‍රඥාවන්ත හිමි නමක්ව සිටි බව ඒබරන්ට වැටහිනි. ආරියවතී නැවත කාල දොරටුව හරහා අතීතයට ගිය බව පැවසුවේ සුමන හිමියන්ය. කාල දොරටුව හරහා තමන් නැවත අතීතයට යවන ලෙස ඒබරන් උන්වහන්සේ පාමුල හඬා වැටුන මුත් සුමන හිමියන් නැවත ඒ කෙලෙස් වලින් පිරි දොරටුවත් සමග ගනුදෙනු කිරීමට උත්සුක වූයේ නැති.  ඇය සොයා වෙහෙසවී පලක් නොමැති බවත් දැන් මෙලොව ජීවිතයට හැඩ ගැසෙන ලෙසටත් ඒබරන්ට උපදෙස් දුන්නේ උන්වහන්සේය. 

සුමන හිමියන්ගේ අවවාද පිළිගත් ඒබරන් මෙලොව ජීවිතය සාර්ථකව ගත කලේය. තම සංගීත කෞශල්‍යයෙන් රටම මුසපත් කරමින් ඔහු තම නව ජීවිත කතාව ඇරඹුවේය. ඒ දිවි ගමන තුල ඔහුට ආදරණීය බිරිඳක්ද, රත්තරන් වටිනා පුතණුවන් දෙදෙනෙක්ද එකතු විය. කාලය ගත වූයේ ඔවුන්ගේ දිවි කල එළි කරමිනි. වසර ගනනාවක් සතුටින් ඉපිල ගිය ඔහුගේ ජීවන චාරිකාවේ අඳුරුතම දිනය මීට වසර 5කට පෙර උදා වුනේ තම ප්‍රිය බිරිඳගේ නොසිතූ වියෝවත් සමගය. පුතුන් දෙදෙනාත් විවාහ වී ඔහු හැර ගිය පසු මේ විසල් නිවසේ ඔහු තනි වූයේය. ......
මහ හඬින් අකුණක් පුපුරා ගියෙන් ඒබරන් යළි පියවි ලොවට පැමිණියේය. වැස්ස ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුනද මහ හඬින් පුපුරන අකුණු වල නම් අඩුවක් පෙනෙන්නට නැත. ඔහු ඔරලෝසුව දෙස බැලීය. රෑ බෝවීමට ආසන්න වෙමින් ඇත. ඔහු තම රාත්‍රී ආහාරය පිලියෙල කර ගැනීම සඳහා මුලුතැන්ගෙය දෙසට පිය මැන්නේ හෙට දිනයේ කරන්නට ඇති අලුත් රාජකාරිය ගැන සිතමිනි. ඔහු නැවත තම සංගීත දිවිය ඇරඹීමට තීරණයක් ගත්තේ මීට සති කිහිපයකට පෙරය. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු හෙට දිනයේ නවක ශිෂ්‍යාවකට තම සංගීත ඥානය බෙදා දීම අරඹනු ඇත. බිරිඳගේ වියෝවෙන් පසු ගෙවුනු අලස හා නීරස වූ තනිකඩ ජීවිතය ඔහුට සංගීතයද එපා කරවීය. නමුත් හෙට දිනයේ සිට නැවත සංගීතය ඔහු කරා පැමිණෙනු ඇත. තම දැනුම තරුණ පරම්පරාව වෙත බෙදා දීමට ඒබරන් කිසිදාක පැකිලුනේ නැත.......සංගීත ඥානයෙන් බැබලෙන දක්ෂ තරුණ පරම්පරාවක සුබ සිහින දකිමින් ඒබරන් නින්දට වැටුනේ ඉක්මන් රාත්‍රී අහාරයකින් අනතුරුවය.

පසුදින උදාවත් සමග ඒබරන් අවදිවූයේ ජීවිතය අලුතෙන් පටන් ගත යුතුයැයි වූ නව ජවයක් සමගය. ඔහු උදේ 9 වෙද්දී විහාර මහදේවී උද්‍යානයේ බංකුවක් මතට බර දුන්නේ තම නවක ශිෂ්‍යාව හමුවීම සඳහාය. ඇය ඇගේ පියා සමග එතනට පැමිණෙනු ඇත. සති අන්තයක් වූයේන් විහාර මහ දේවිය වෙනදාට වැඩි වේගයකින් ජනාකීර්ණ වෙමින් ඇත. විශාල ගස් මුල් වලට පිට දී හාදු වැස්සක තෙමෙනා පෙම්වතුන්ට අමතරව කුඩා දරුවන් සමග විවේකය ගත කරන්නට එන දෙමව්පියන්ගෙන්ද අද අඩුවක් නැත. උද්‍යානය පුරා එහේ මෙහේ දුවනා පොඩි උන් නිසා පෙම්වතුන්ට නිදහසේ තම තමන්ගේ දෙතොල් සොයා ගැන්මට අපහසුය. සොයා ගත්තත් දෙතොල් වල ගැලී මුසුවෙන උණුහුමෙන් මත්ව තම තමන්ගේ ශරීර පහස විඳීමට අපහසුය. ඒබරන් මේ සියලු දේ දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නේ තම තරුණ වීයේ මතකයන් සමග සිතෙන් සෙල්ලම් කරන ගමන්මය.

ඒ මතකයන් අතර අතරමංව සිටි ඒබරන් ඇගේ පැමිණීම දුටුවේ නැත. කලු පැහැති මෝටර් රථයකින් තම පියා විසින් ඇරලූ ඇය විහාරමහ දේවිය තුලට පැමිණ මදක් වට පිට බැලුවේ ඒබරන් සොයාගැනීමේ අටියෙනි. ඇගේ විමසුම් දෑස් වලට, මද සිනහවකින් යුතුව කල්පනාවේ ගැලී ඉන්නා ඒබරන්ව හසුවිය. සම්පූර්ණයෙන් සුදු පැහැති ඇඳුමකින් සැරසී සිටින තම සරල සංගීත ගුරුවරයා දුටු ඇය ඔහු දෙසට පිය මැන්නාය. 

"සර්....."

එක් වනම ඇසුණු තරුණු කාන්තා කටහඬක් නිසා ඒබරන් තම අතීත මතකයන්ගෙන් නැවත විහාර මහ දේවියට විසි වී වැටුණි.

"කොහොමද සර්?......මම පියුමි"
ඇය ඔහුගේ දෙපා නැමදුවාය. ඔහු ඇයට ආශිර්වාද කලේ ඇයගේ මුහුණවත් හරියට නොදුටු බව සිතමිණි. දෙපා නැමදුමෙන් ආනතුරුව ඇය කෙලින් වූවාය. 

ඔහු ඇයගේ මුහුණ දුටුවේය........

පොඩි උන්ගේ සෙල්ලම එක් වනම නැවතිණි, පෙම්වතුන්ගේ චුම්බනයන් තොල් වල එතුනු ගමන්මය, පෙම්වතියන්ගේ පියවුරු සොයනා පෙම්වත් දෑත් ගල් ගැසුනි, පාරේ යන එන වාහන, මිනිස්සු එකතැන නැවතිනි, විහාර මහ දේවියේ කාක්කන් ගේ කටවල් වලට අගුලු වැටිනි, උද්‍යානයේ වතුර මලෙන් නිකුත්වූ ජල බිඳිති පොලව සිප නොගෙන වා තලයේම රැඳිනි, ඒබරන්ගේ හද ගැස්ම නැවතුනු අතර, ඇස් පිය ගැසුනේ නැති.....
ඔහු තම මුව අයා ඇය දෙස බලා සිටියේය......

දෙවියනේ ආරියවතී.........


ඊලඟ කොටස හෙට අනිද්දාට

Monday, September 25, 2017

තත්වෙකට ඇවිදින්.....







හන්දියේ පොත් කඩෙන්
අරන් සව් කොලයකුත් පොඩි කතුරකුත්
ඉතුරු සල්ලියෙන් ගත්තා ගම් බෝතලේකුත්
වෙසක් මාසෙත් නොවේ
සරුංගල් මාසෙත් නොවේ
කඩේ නංගිගේ බැල්මේ, 
ප්‍රශ්නාර්තයකි මැවුනේ
කඩේ අයියාගේ දෙතොලේ,
මද සිනහවකි ඇඳීයන්නේ
ඒ ලබපු අස්වැසිල්ලෙන්,
අපි හෙමින් මාරු වෙලා යන්නේ
කතුර හොඳටම පොඩියි, 
ඇඟිලි අපෙ ලොකු වැඩී
රිදුම් දෙන ඇඟිලිවල වෙහෙස 
කතුරු තල දෙක මැදට ඇවිදින්
සව් කොලය මත විසිරයයි.
කටේ කෙල හිඳී ඇත,ගම් බෝතලේ ඒකටයි......

නැත කිසිම ලේසියක්
දල්වන්න අප අපේක්ෂාවන්
හැකිද මෙතරම් චණ්ඩ වන්නට
සිසිල රැඳි මද පවනටත්...
අත් අපේ එක් වෙලා
වඳින්නට මෙන් පේවුනා
වකුටුවූ අත්ලවල් මැද්දේ
අග්නි පුෂ්පය දැල්වුනා
දැල්වූ පහන් දැල්වී තියේවා
එකෙක්ගෙන් අනිකාට පහන හුවමාරු වේවා
සීගිරිය පිස එන සුළං රැල්
එතේ සියොලඟ අපේ
බට නලාවක් හඬයි ඈතින්
එය එතෙන්නේ සිත වටේ...
යමුද අපි පිදුරංගල මල් අරන්
අපේ සිතුවම් ඇඳෙනු  ඇත සඳ මතත්
අඩවන්ව යන දෙනෙත් අතුරින් 
සඳ සොයමි මම නොඉවසිල්ලෙන්
තාරාකාවන් මහ ගොඩක් මැද
සඳ තිබුනේ චාපයක් අයුරින්
මේ චූටි  හඳ කෑල්ලේ 
හාවටත් ඉඩ ඉතිරි නැති කොට
අපි පස් දෙනෙක් කොහොම අඳින්නද
අතින් ගත් මල් පොකුරු එක්කම.....

සිහින් හඬින් ඇරඹුණු සිනහවක්
හැම එකෙක්ටම බෝව යන්නේ
නිමක් නැති මහ සිනා සයුරක්
බට නලා හඬ දියකරන්නේ
තත්වෙකට ඇවිදින්ද හැමෝම
එක වරම ප්‍රශ්නයක්...!!
සිනහ නැවතෙන ප්‍රශ්නයක්...!!
එක එකා වෙන වෙනම
හොයනවා උත්තරේ
බට නලා තාලයට ලොල්වී
හඳ විසල් වනු පෙනෙන්නේ
සව් කොලේ එහෙමමයි
රිදෙනවා දැනෙන්නෑ මට ඇඟිලිත්

මම මගේ තත්වය කිව්වා....



Tuesday, September 5, 2017

දේශපාලන උත්කෘෂ්ටතාවයේ වියැකීම





ලංකාවේ වර්ථමාන දේශපාලනය යනු උත්කෘෂ්ට භාවයන් වලින් තොර වූ තෙරක් නොපෙනෙන කතරක්. මෙහිදී උත්කෘෂ්ට යන වචනය යොදාගත්තේ ඉමානුඑල් කාන්ට්ගේ The Sublime එනම් උත්කෘෂ්ට දෙය පිළිබඳ අදහස පාදක කරගනිමින්. කාන්ට්ට අනුව එහිදී උත්කෘෂ්ට දෙය ලෙස හැඳින්වුනේ අපගේ මානසික ලෝකය තුල ග්‍රහණය කරගත නොහැකි සංකීර්ණ පැවැත්මවල් යන්නයි. අපට සිතා ගැනීමට අපහසු විශාල පැවැත්මවල් හමුවේ අපගේ කුඩා භාවය එහිදී හැඳින්වුනා විය යුතුයි. ඔහුට අනුව එම  උත්කෘෂ්ට දෙය වුනේ ස්ව්බාවදර්මය. අපගේ  පශ්චාත් යටත් විජිත දේශපාලන සන්දර්බය තුල හඳුනාගත හැකිව තිබූ එවැනි උත්කෘෂ්ටබාවයන් දෙකකි ( මා කාන්ට් ගැන හෝ ඔහුගේ මතයන් ගැන කිසිසේත් හදාරා නැති අතර, මේ උත්කෘෂ්ට දෙය පිලිබඳ ඔහුගේ අදහස අනුවාදයක් ලෙස යොදා ගැනීමකි. ඒ නිසා මෙය උත්කෘෂ්ට දෙය පිලිබඳ නයි version එකක් විය හැක). 

ඉන් පළමු වැන්න දශක 3ක් පුරා දිග හැරුණු යුද්ධයේ නිමාවයි. දෙවැන්න දශක 6කටත් අධික කාලයක් කරගත නොහැකිව තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ හවුල් පාලනයයි.මේ කාරණා දෙකම  එවකට අපේ මානසික ලෝකය තුල නියෝජනය කරගන්නට ලේසි පහසු වූ දේවල් නොවේ. මන්දයත්  ඒ කාරණා දෙකම දශක 3කටත් අධික කාලයන් තුල සිහිනෙන්වත් සැබෑ නොවන දේ ලෙස අපිට පෙනීගිය නිසා. ඒ අනුව යමින් අතීතයේ අප සියල්ලන්ම පාහේ සිතුවේ "යුද්ධය නැත්නම් අපි ලෝකයේ සංවර්ධිත්ම රටක් බවට පත් වෙනවා" , අනික අපේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා රට කරොත් අපිට ඉතා සෞභාග්‍යමත් කාලයක් උදාවෙයි කියන  කාරණා දෙක. එනිසා නැවුම්බවේ ,වාසනාවේ , සෞභාග්‍යයේ අපරිමිත බලාපොරොත්තු ඉහත කී උත්කෘෂ්ට බාවයන් දෙකට එපිටින් දිලිහෙමින් තිබුණා.

අපි මේ ගෙවමින් සිටින මොහොත ඉහතින් සඳහන් කල උත්කෘෂ්ට බාවයන් 2ම අත්පත් කරගත් මොහොතක්. මීට දශකයකට පමණ පෙර කිසිසේත්ම අපේ මානසික ලෝකය තුල නියෝජය කල නොහැකි වූ අතිශය සංකීර්ණ කාරණා දෙකක් සඵල වී ඇති මොහොතක්. නමුත් ප්‍රශ්නය වෙන්නේ ඒ උත්කෘෂ්ට දේවල් දෙකට එපිටින් ඇතැයි අපි සිතා සිටි දිලිසෙන, මනරම් , සංවර්ධිත අනාගතය, ස්ථාවර දිවි පැවැත්ම,දේශපාලන විදග්ධ බාවය පේන තෙක් මානයකවත් නැති වීම. මහා උත්කෘෂ්ට බාවයන් දෙකක් සඵල කරගැනීමෙන් පසු අපි ඇවිත් ඉන්නේ සිතා ගැනීමට බැරිතරම් අපිව ආතතියට පත් කරන, ඉච්චා භංගත්වයට පත් කරන මහා රික්තයකට. තවදුරටත් උත්කෘෂ්ට දෙයක් දෙයක් අප ඉදිරියේ නෑ. මන්ද අප දශක ගනනාවක් දැන සිටි ඒ විශාල පැවත්මවල් දෙකම අපේ ඉදිරිපිටට ඇවිත් ඉවරයි. ඒ නිසා අපි දැන් ඉන්නේ ලොවෙත් නැති විදිහට අතරමං වෙලා. රටේ මීලඟ දේශපාලන සිතියමේ දිදුලන ලකුණක් හෝ දිශානතියක් අපිට කිසිසේත් හිතාගන්නට නොහැකිවයි අපි මේ මොහොත ගත කරන්නේ.

2015 ජනවාරි 8 කියන්නේ සැබවින්ම විප්ලවයක්. මොකද ඒ මගින් පෙන්වා දුන්නා අප වටා සිටින සියලු දේශපාලන චරිත, පක්ෂ සහ සැලසුම් ඉතා හිස් දේවල් බව. ඊට පෙර අප මහා පෞර්ෂයන් , නැතිනම් වැඩපිලිවෙලවල් කියා සිටි සියල්ල මේ වෙද්දී බොල් හඬ නගන ඇතුලත හිස්වුනු ඔද්දල් භණ්ඩ බවට පත් වෙලා ඉවරයි. ප්‍රධාන පක්ෂ දෙකේ එකතුව අතිශය මලානික බැරිමරගාතේ යන වාහනයක් වෙලා. හිටපු ප්‍රතාපවත් නායකයා දුම්මල ගහලවත් එලවන්න බැරි තරමට බලයට කෑදරව කෙල හලන්නෙක් බවට පත්වෙලා. එවකට අපි දැන සිටි රටේ 3න්වන සටන්කාමී බලවේගය ජ.වි.පෙ සැලසුමක් ඉදිරිපත් කල නොහැකි එකම බයිලේ ගහන බස් සින්දු ගායකයෙක් තරමට වැටිලා. ඒ සියලු ජරාජීර්ණ වූ පැවැත්මවල් අතර පොදු ජනයාට උත්කෘෂ්ට දෙයක් පිළිබඳ අදහසක් නැති වෙලා. වටේටම තියෙන්නේ තෙරක් නොපෙනෙන හිස් බව විතරමයි.

2009 යුධ අවසානයත් සමග උදාවුනු කාලය  ජවයෙන් හා උනන්දුවෙන් පිරුණු එකක් වුනා. මහා සංවර්ධන ව්‍යාපෘති වලින්, ජාති මාමකත්වය කුලු ගැන්වීමෙන් පටන් අරගෙන ප්‍රජාතන්ත්‍රීය අවකාශය හැකිලීම, දූෂණය නාස්තිය ඉහළ යෑම දක්වාත්, පැවති රෙජීමය බිඳ හෙලීමට අපහසු මහා ප්‍රාකාරයක් තරමට ශක්තිමත් වීම දක්වාත් ගිය ගමන, එවකට අපිව පුදුමයට පත්කරපු කාරනයන් වුනා. ඒ පුදුමයන්වලින් පසු උදා වුනේ මර්ධනකාරී ශක්තිමත් ආන්ඩුවක් විසින් විරුධවාදීන් පෙලීමේ කාලය. ඒ පෙලීමට එදිරිව , එම මහා ප්‍රාකාරය බිඳ දැමීමට පෙරට පැමිණ නිර්භයව සටන් කරපු බලවේගය තමයි ජවිපෙ. පැවති පාලනයේ මහා දූෂණ වංචාවන් ඔවුන් නොබියව හෙලි කලා. ඒ මහා හොරකම් දැකපු අපි පුදුමයෙන් පුදුමයටත් , කේන්තියෙන් කේන්තියටත් පත් වුනා. දෙවනි උත්කෘෂ්ට භාවයේ සඵල වීම 2015දී එළබෙන්නේ ඒ ක්‍රියාවලියේ ප්‍රතිපලයක් විදිහට.

ඔන්න ආයේත් අපිට එලඹුනා දිදුලන බලාපොරොත්තු වල යුගයක්. නමුත් වසර 3ක් ලබනන්න එද්දි අපිට පේනවා දෙවනි උත්කෘෂ්ට බාවයේ සපල වීමත් පුස්සක් බව. මෙතන තියන ඛේදජනකම තත්වය තමයි මේ යුගයේ අපිව පුදුම කරන්න හෝ අපිව උත්තේජනය කරන්න පුලුවන් තවත් උත්කෘශ්ට දෙයක නොපැවැත්ම. අඩුගානේ මේ සිද්ධ වෙන දේවල් වලින් අපිව පුදුමයටවත් පත් වෙන්නේ නෑ. 2013 අග වෙනකොට ජවිපෙ විසින් හෙලිකරන්න පටන් ගත්ත හොරුන්ගේ ලැයිස්තුව තවමත් දිග හැරෙනවා.  මේ හෙලිවෙන හොරකම් , වංචා වල සංඛ්‍යාත්මක අගය ඉලක්කමෙන් කොලේක ලියන්නවත් නොතේරෙන තරමට ඒ දූෂණ, හොරකම් වල ප්‍රමානය විශාලයි. ඒත් වැඩේ කියන්නේ අපි දැන් ඒකට පුරුදු වෙලා ඉවරයි. තව දුරටත් මේ මහා හොරකම් හෙලි වීමෙන් අපිව පුදුමයට පත් වෙන්නේ නෑ. මොකද අපි දන්නවා හැමෝම හොරු කියලා. ඒ වගේම ඒ කාටවත් දඬුවමක් ලැබෙන්නේ නෑ කියලත්.

ඒ වගේම පවතින රජයට එදිරිවූ විකල්ප දේශ්පාලනයක බලාපොරොත්තුවත් ගිලිහිලා අවසන්. මොකද මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව වගේ කෙලින් අපිත් එක්ක හැප්පෙන්න , තලන්න පෙලන්න එන්නේ නෑ. ඔවුන් හරිම ඔතෑනියි, හාමුදුරුවන්ට, කාදිනල්ට වගේම සමාජ ජාල වල අදහස් වලටත් ඔවුන් කන් දෙනවා. ඒ නිසා ජවිපෙ වගේ පක්ෂෙකට කලින් ආණ්ඩුවත් එක්ක හැප්පුනා වගේ කෑ ගහලා බැන අඬගහල හැප්පෙන්න දෙයක් මේ ආණ්ඩුවේ නෑ. එහෙම හැප්පෙන්න තරම්, මේක චීන මහා ප්‍රාකාරේ වගේ ශක්තිමත් එකකුත් නෙවී. කොයි වෙලේ වැටෙයිද කියලා කියන්න බෑ. නමුත් අපි එහෙම හිතුවට මේක වැටෙන්නේත් නෑ. හරියට හෙල්ලි හෙල්ලි තියන දතක් වගේ. කොටින්ම ඔවුන්ව ඉවත් කරලා ගේන්න පුලුවන් මොකක්ද කියන එකත් හැමෝටම ප්‍රශ්නයක්. මොකද මේ වෙද්දී  දේශපාලනිකව උත්කෘෂ්ට දෙයක පැවැත්ම සහමුලින්ම අහෝසි  වී තිබීම.

මේ අවස්තාවේ නන්නත්තාර වෙලා , හොඳම එකෙන් ඇනගෙන අනාගත දේශපාලන විබවයක දෘශ්ටියක් හොයාගන්න බැරිව ඉන්න ජනතාවට , දේශපාලන උත්කෘෂ්ට බවක අදහස ගේන්න වාමාංශික පක්ෂ වලට බැරි ඇයි. ධනවාදී රාමුවක අධි පරිභෝජනවාදයක හිරවෙලා , දේශපාලනිකව අනාත වෙලා ඉන්න රටකට සමාජවාදයේ අයනු ආයනු කියාදෙමින් අලුත් උත්කෘෂ්ට දෙයක කටුසටහනක් අඳින්න මේක හොඳ අවස්තාවක්. ඒකෙන් කියවෙන්නේ සමජවාදී රටක් 2020 දි හදන්න කියන එක නෙවී. ඒ උත්සහය අපිට අයිති කරගන්න ඉතා අපහසු විශාල දෙයක් පිළිබඳ අදහසක් හිතේ කෙලවරක තබා ගැනීම. ඒ අදහස යම් දේශපාලන අනාගතයක් කෙරෙහි යොමු වී තිබීම. ප්‍රශ්නෙ තියෙන්නේ අලි බබා සහ හොරු 40 හිර වෙලා ඉන්න ජවිපෙට, ජවිපෙට බැන අඬගසමින් ඉන්න පෙරටුගාමීන්ට සහ ඒකාබද්ධයට බද්ධ වෙලා ඉන්න පැරණි වාමාංශික පක්ෂ වලට මේ සඳහා එක ඉවුරකට එන්න පුලුවන්ද කියන එක.