Saturday, July 29, 2017

බුද්ධාගමෙහි ප්‍රමුඛතාව ?






මේ ආණ්ඩුව පත්වුන දින සිට කියවෙන ප්‍රධාන දෙයක් තමයි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම කියන කරුණ. 2016 ජනවාරි වල තමයි මේ ක්‍රියාවලියේ ආරම්බය සටහන් වෙන්නේ. ඒ 2015 දෙසැම්බර් වල පිහිටවපු මහජන අදහස් විමසීමේ කමිටුව (සාමාජිකයින් 20දෙනෙකුගෙන් සමන්විත ) තමන්ගේ කර්තව්‍යයන් නිල ලෙස ආරම්භ කිරීමත් සමග. මාස කිහිපයක් පුරා ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 පුරාම තම කටයුතු පවත්වාගෙන ගිය මේ කමිටුව තම වාර්තාව 2016 මැයි මාසයේදී බාර දුන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්තා මණ්ඩලයට. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225දෙනාගෙන්ම සමන්විත මණ්ඩලයක්. මේ බාරදුන් යෝජනාවලිය , මෙහෙයුම් කමිටුවකින්, අනු කමිටු 6කින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයකින් කළමණාකරණය වෙලා අවසානයේදී පාර්ලිමේන්තු ක්‍රියාවලියකට යොමු වෙනු ඇති.

මේ යෝජනා බාරදුන් දවසේ සිට රට පුරා විටින් විට පත්තු වුණු කාරනයක් තමයි බුද්ධාගමට හිමි ස්ථානය අහිමි කරන්න යනවා කියන අදහස. එදිනෙදා සමාජයේ අපිට මුණගැසෙන බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් නිසි අවබෝධයක නෑ. එහෙම නැති වෙලත් සමහරක් දෙනා ඉතා ක්‍රෝධයෙන් මේ ගැන රජයට සාප කරනවා. සමහරෙක් හිතාගෙන ඉන්නේ රට අන්‍යාගමීකරණය කරන්න යනවා කියලා. මොකද සමහරක් දෙනා රාජ්‍යය අනාගමික කිරීම කියන අදහස වරදවා වටහාගෙන ඇති නිසා. මේ හැම දෙනෙක්ම වගේ  කෝපගන්වන අදහස් වල ඉන්නේ බුකියේ page වල, groups වල පලවන මෙලෝ වගකීමක්, සදාචාරයක් නැති posts වලට වහල් වෙලා. නැතිනම් රට අවුලවන්න බලන් ඉන්න හාමුදුරුවරුන් කොට්ඨාශයක් සරණ ගිහිල්ලා.

ඉතින් අද  උත්සහය මේ ගැටලුවේ දැනට පවතින තත්වය ඉදිරිපත් කිරීම. පවතින ව්‍යවස්ථාවේ දෙවනි පරිච්ඡේදය නම් කරලා තියෙන්නේ "බුද්ධාගම" කියල. එහි ඇතුලත් වෙන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ 9වෙනි වගන්තිය. 9වෙනි වගන්තිය මෙන්න මෙහෙමයි තියෙන්නේ,
ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10වන ව්‍යවස්ථාවෙන් සහ 14වන ව්‍යවස්තාවේ (1)වන අනුව්‍යවස්ථාවේ (ඉ ) ඡේදයෙන් සියලුම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.

දැන් අපි බලමු මොනවද මේ 10 සහ 14(1)(ඉ ) කියන්නේ කියලා,

10. සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුලුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.

14(1)(ඉ ). එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව, තම ආගම , ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහස.

ඔය විදිහට තමයි 1972 ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට දී තිබුණ ස්ථානය කිසිඳු වෙනසකට ලක් නොකර 78 ව්‍යවස්ථාවටත් එක් වෙලා තියෙන්නේ. නමුත් 78 ව්‍යවස්ථාවේදී  දීල තියන ප්‍රමුඛබව ඉතා ශක්තිමත් එකක්. මොකද කියනවනම්, 83වන වගන්තියට අනුව පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියට අතිරේකව ජනමත විචාරණයකදී ජනතාවගේ ප්‍රකාශිත අනුමැතියද නොලැබ බෞද්ධාගමට ව්‍යවස්ථාවෙන් පිරිනමන ලද තත්වයෙහි කිසිදු වෙනසක් ඇති කරන්න බැරි නිසා.

දැන් අපි බලමු මෙවර නව ව්‍යවස්තාව සඳහා මහජන අදහස් විමසීමේ කමිටුව ඉදිරිපත්කල නිර්දේශ මොනවද කියලා. ඔවුන්ගේ නිර්දේශ ඒකමතික නොවන නිසා ඒ ඒ නිර්දේශ ඉදිරිපත් කරන සාමාජිකයන් කවුරුන්ද කියලත් යෝජනාවලියේ පාද සටහන් වල දක්වා තිබෙනවා.

1. පවතින දෙවනි පරිච්ඡේදයේ 9වෙනි වගන්තිය කිසිඳු වෙනසකින් තොරව එලෙසම පවත්වා ගැනීම.( සාමජිකයින් 2යි )

2. දෙවනි පරිච්ඡේදයේ අඩංගු කරුණු වෙනසකට භාජනය නොකරමින්, දෙවන පරිච්ඡේදයේ මාතෘකාව "ආගම්" ලෙස වෙනස් කිරීම (සාමාජිකයින් 2යි )

3. නවවැනි වගන්තිය පහත අයුරින් යලි සූත්‍රගත කිරීම,
ශ්‍රී ලංකා ජනරජය සියලු ආගම් වලට සමාන තත්වයන් ලබාදෙයි. රාජ්‍යය බුද්ධාගම ආරක්ෂාකරමින් පෝෂණය කරන අතර සියලු ආගම් වලට, පවතින ව්‍යවස්තාවෙන් දෙනු ලබන අයිතීන්වන 10 සහ 14(1) (ඉ ) ලබාදීමට සහතික වේ.
( සාමාජිකයින් 5යි )

4. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් වේ. (සාමාජිකයින් 5යි )

5. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් වන අතර, ආධ්‍යාත්මික දියුණුව සඳහා වන ආගමෙහි භූමිකාව පිළිගනී. (සාමාජිකයින් 1යි )

6. දෙවන පරිච්ඡේදයෙහි මාතෘකාව "ආගම්" ලෙස වෙනස් විය යුතු අතර එහි ඇති කරුණ,
"ශ්‍රී ලංකා ජනරජය  සියලු ආගම් වලට සමාන තත්වයක් ලබාදේ" ලෙස විය යුතුය.
(සාමාජිකයින් 2යි )

ඔන්න ඔය විදියට තමයි මේ වෙද්දී කරුණු කාරණා පෙල ගැහිල තියෙන්නේ . බුද්ධාමට දෙන තත්වය මොකක්ද කියල වාචාල දේශපාලකයො, රට කොටවන හාමුදුරුවරු ඇතුලු අනිකුත් පූජක පක්ෂ , රටට ආතල් දෙන බුකී පේජ් කාරයෝ පික්සුවෙන් ගහන පිනුම් දිහා බලල ඔබත් පික්සු වැටිලා මුලා වෙන්න එපා. තොරතුරු තාක්ෂණය ඉතා දියුණු මේ යුගයේ ඔබට අවශ්‍ය තොරතුරු දැනගත හැකි මාධ්‍ය බොහොමයක් විවෘතයි. ඒ නිසා හැකි සෑම විටම අදාල තොරතුරු ඔබ විසින්ම විමසා බලා තම නැණ බලයෙන් තේරුම් ගන්න. එවිට රට ගිනිතියන ඉහත කණඩායම් වලට ඔබ ගොදුරු කරගන්න අපහසු වෙනවාක් මෙන්ම වකීමක් ඇති පුරවැසි සමූහයක් රටකට දායද වෙනවා.

මේ ලිපියේ ඇතැම් තැන් පරිවර්තනය කිරීම් වලදී සහ උපුටා ගැනීම් වලදී දෝෂ සහගත වී ඇති වෙන්න පුලුවන්.එසේ වී ඇතිනම් ඊට සමාව බජනය කරන අතරම , ඔබත් පහත සඳහන් මූලාශ්‍ර වලින් වැඩි දුර තොරතුරු පරිශීලනය කරන්න,


http://www.samabima.com/?p=17489
http://sinhala.constitutionalassembly.lk/
http://www.yourconstitution.lk/PRCRpt/PRC_english_report-A4.pdf
http://www.vikalpa.org/?p=30835


Constitution of Srilanka English Version
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමය සහ දේශපාලනය ( අතුල විතානවසම්, දෙවන මුද්‍රණය 2010. page451,452)

Sunday, July 2, 2017

ගිරා රිලා හටන් ඉතිහාසය - 2







ඉතින් මතක ඇතිනෙ කැලේ සත්තුන්ගේ ඇනුම් පද වලින් ගැලවෙන්න සෙල්ලම් රිලවට නියම අයිඩියාර් එකක් ආව කියල. මේ අයිඩියාර් එක ආපු මොහොතෙම සෙල්ලමා අඩි හතේ කරනමක් ගහලා කැලේ උස ගහකට ගොඩ වෙලා ඉතා වේගයෙන් කැලේ හරහා ගමනක් ආරම්භ කලා.ඒක ඉතා දීර්ඝ ගමනක්.සිංහරාජෙනුත් එහා තිබ්බ මහා කැලෑ හතක් පහු කරපු ඒ දිගු චාරිකාවේ අරමුණ වුනේ ලෝක පාලක සක්‍ර දේවේන්ද්‍රයා හමුවීම.ඉතින් ඝන කැලෑ හතක් පහු කරලා ලෝකේ කෙලවරට ආපු සෙල්ලම් රිලවා අවසානයේ සක් දෙවිඳුන්ගෙ දේව බවනට ලඟා උනා.රිලවගේ හිසේ සිට පාදාන්තය දක්වා ශරීර පරීක්ෂාවකින් පස්සෙ සක්‍රයගෙ ආරක්ෂකයො සෙල්ලම් රිලවට අවසර දුන්න සක්‍රයව බැහැදකින්න.

සක්‍රයව දැකපු ගමන් සෙල්ලමා දනින් වැටිලා හොටු පෙරාගෙන අඬන්න ගත්තේ තමන්ගේ දුක්බර කතාවත් ආරම්බ කරගෙනම. මාලි ගිරවගෙ උද්දච්ඡ කතා නිසා කැලේ සත්තු තමන්ව විහිලුවට අරගෙන තියෙන හැටි කියද්දි සෙල්ලමා ඉකි ගැහුවේ නැති එක විතරයි. සෙල්ලමා කොච්චර අඬාගෙන විස්තරේ කිව්වත් සක්‍රය නම් සෙල්ලමාගේ කතාව අහන් හිටියේ don't care type එකෙන්. මොකද සක්‍රය හිටියේ සෙල්ලම් රිලව ගැන එතරම් පැහැදීමකින් නෙවී. කලින් වඳුරු රජාගේ කාලේ කැලේ මැද කොස් කොල පාරු නවත්තන්න පොකුණක් හදන්න පටන්ගත්ත වෙලාවේ මඩ ඉවුරේ හිටපු සෙල්ලම් රිලවා ( ඒ කාලේ අම්මටසිරි රිලවා ) ඒ පොකුනෙ අඩියක් උසටවත් වතුර නැත, තියෙන්නේ මහා පත තඩි කලු ගලක්ය කියලා හෙන අඩව්වක් ඇල්ලුවා. හැබැයි එහෙම අඩව් අල්ලපු රිලවා ඊට ටික දවසකට පස්සෙ ඒ වඳුරු රජාගේ දෑත් ශක්තිමත් කොරන්නය කියලා මඩ ඉවුරෙන් රජ ඉවුරට ගැහුවා හෙන කරණමක්.ඊට පස්සෙ කැලේ සත්තු පොකුණෙ තියනවා කියපු කලු ගල ගැන අහනකොට රිලවා කිව්වා ඒක දැන් නැතිය, පොකුණෙ තියෙන්නේ නිල් කැටේට පිරුණු වතුර විතරය කියලා. මේ සිද්ධිය නිසා සක්‍රය හිටියේ හොඳටම නොරොක් වෙලා රිලවත් එක්ක. මොකද ඒ කාලේ සක්‍රයා දිව දෙකක් දීලා තිබ්බේ  කබරුන්ට විතරයි. රිලවෙක් කවදාවත් මේ විදියට දිව දෙකේ කතා කියයි කියලා සක්‍රය හීනෙන්වත් හිතුවෙ නෑ. මේ නොරොක් වීම නිසා තමයි සක්‍රය සෙල්ලමාගේ දුක් අඳෝනාව ගනන් නොගෙන හිටියෙ. ටික වෙලාවක් අඬා දොඩා වැලපෙමින් ඉන්නකොට සෙල්ලමාට තේරුනා සක්‍රයා තමන් එක්ක ඔරොප්පු මූඩ් එකෙන් ඉන්නේ කියලා. සක්‍රයව ශේප් කරගන්නෙ කෝමද කියලා සෙල්ලමා අඬන අතරෙම කල්පනා කරා. ආහ් ආව නියම අයිඩියාර් එකක්...

ඔයා දිහයි බලන් හිටියෙ
ඇස් පිය නොහෙලා මෙතෙක් වෙලා
ලඟින් හිටියෙ නැති ටික කාලෙට
ඔයා හුඟක් වෙනස් වෙලා.....

සෙල්ලම් රිලවා තමන්ගේ ගායන හැකියාව ප්‍රයෝජනේට අරන් කිව්වා සින්දුවක් ආයේ ලොවෙත් නැති වෙන්න. ඒ සින්දුවේ ගැබ් වුනු ආදරණීය හැඟීම නිසා සක්‍රයගේ පඬුපුල් ආසනේ රත් වුනා එකසිය ගානට. "ඌඌඌයි අම්මියෝ...." කියාගෙන සක්‍රයා අට ඉස්බක් අහසට පැන්නා. බැලින්නම් ආසනේ රත් වෙච්ච රත් විල්ලට සක්‍රයගේ පුක පිච්චිලා දිය පට්ට එන්නම. ආයේ බිමට වැඩම කරපු සක්‍රයා පඬුපුල් ආසනේ යට තියන් හිටපු එලඟි තෙල් කුප්පිය අරන් පස්ස පැත්තේ ගාන්න පටන් ගත්තා.

සෙල්ලමාගේ සින්දුවෙන් හිත මෙන්ම පස්සත් පිච්චිලා ගිය සක්‍රයා සෙල්ලම් රිලවාගේ කතාවට ආයෙත් මුල ඉඳලා සවන් දුන්නා.ඊට පස්සෙ තමන්ගේ මොලේ වෙහෙසලා සෙල්ලමාගේ අතට දුන්නා දෙල් කොල වීණාවකුයි අග්ගලා ගුලියකුයි, දීල කිව්වා සිම්බාවො එක්ක  තරඟෙ තියන තැනට ගිහින් දෙල් කොල වීණාව වයන්න ගන්න කියලා. වයන අතරෙ පැය බාගෙන් බාගෙට දෙල් කොලේ නටුව කෑල්ල කෑල්ල කඩන්න කියලා.
"නටුව කඩනකොට සද්දෙ නැති වෙයිනේ දෙයියො" සෙල්ලමා මැදින් පැනලා ප්‍රශ්නයක් ඇහුවා.
"උඹ මම කිය විදිහට කරපිය පන්ඩිත නොවී.." සක්‍රයා දැම්මා පොඩි සද්දයක්.
"එහෙමයි..." රිලවා යටහත් පහත් උනා.
"මතක ඇතුව තරඟේ බලන්න යන්න කලින් අග්ගලා ගුලිය කාලා පල. ඒකෙන් උබේ වෙස් මාරු වෙයි අනික් උන්ට අඳුන ගන්න බැරි විදිහට. හැබැයි රිලවෝ මතක තියාගං දෙල් කොල නටුව තුන් පාරම නොකැඩුවොත් තරඟෙ ඉවර වෙන්න කලින් උබේ සැබෑ ස්වරූපේ මතුවෙයි..."     සක්‍රයා වැඩිදුර උපදෙස් දෙමින් කිව්වා.......


        *  *  *  *  *

කාලය ක්‍රමයෙන් ගෙවී ගිහින් සිම්බාවෝත් ගිරවුනුත් අතරෙ බෝල අතුල්ලන සෙල්ලම කරන දවසත් ආවා. මාලි ගිරවා නොඉවසිල්ලෙන් හිටියේ මේ සෙල්ලමට ගිහිල්ල හොඳට වැඩ කිඩ පෙන්නලා සෙල්ලම් රිලවාට තවත් අන්නවන්න. ඒත් මලසේකර ගිරවා සෙල්ලමට යන්න කැමති උනේ නෑ. මලසේකර වටහාගෙන හිටියා වේගයෙන්  පියාඹන්න පුලුවන් වුනත් දැන් තමන්ට ඉස්සර තරමට සෙල්ලම් කරන්න පුලුවන් කමක් නෑ කියලා. ඒ නිසා මලසේකර බෙනේට වෙලා ඉද්දී මාලි ගියා සෙල්ලම කරන්න. ඔය අතරෙ සක්‍රයා දීපු ගුලිය කාලා වෙස් මාරු කරන් හිටපු සෙල්ලම් රිලවත් උදෑසනම පිටියට ඇවිල්ල හිටියා දෙල් කොල වීණාවත් අරගෙන සෙල්ලම නරබන්න.

උදේ 9 විතර වෙද්දි කැලේ අනික් සත්තුත් වේලිච්ච දිවුල් කටු ,බෙලි කටු , උනබට නලා හදාගෙන ආවා සෙල්ලම නරබන්න. ඒ දවස් වල බෝල අතුල්ලන සෙල්ලම බලන සිංහරාජෙ සත්තු ඒවා බැලුවේ දිවුල් කටු බෙලි කටු වලට වේලිච්ච ගස් වල අතු රිකිලි වලින් තට්ටු කර කර සින්දු කියමින්. සමහර සත්තු උනබට නලා පිම්බා (වර්ථමානයේ ට්‍රම්පට් හා ඩ්‍රම් සැට් වලින් යුක්ත පපරෙ බෑන්ඩ් හැදුනේ සිංහරාජෙ සත්තුන්ගේ ඒ ක්‍රමේ උපයෝගි කරගෙන බව National geography වල ගිය වැඩසටහනක කිව්වා ). උදේ 10 විතර වෙද්දි සෙල්ලම පටන් ගත්තා සිංහරාජෙ ගිරා සැට් එක සෙල්ලම ආරම්භයේදී හොඳට වැඩ දාල සෙල්ලම් කරා. ඒ නිසා සිංහරාජෙ සත්තු තමන් ගෙනාපු සංගීත භාණ්ඩ හිටු කියලා වාදනය කරන්න ගත්තා. දිවුල් කටු බෙලි කටු නාදයත් එක්ක මුසු උනු උනබට නලා සද්දෙන් මුලු කැලේම සැනකෙලි සිරි ගත්තා.මේ අතරෙ වෙස් වලාගෙන හිටපු සෙල්ලම් රිලවා තමන් ගෙනාපු දෙල්කොල වීණාව වාදනය කරන්න ගත්තා. බෝල අතුල්ලන සෙල්ලමක් මැද වීණා ගහන සතා මොකාද යකෝ කියලා සත්තු පුදුමයෙන් බලන්න ගත්තා. පැය බාගයක් යද්දි වීණා ශිල්පියා දෙල් කොලේ නටුවෙන් කෑල්ලක් කඩපි. "මේකාට  පිස්සුද වීනාව කැඩුවේ?"......, සත්තු අන්දුන් කුන්දුන් උනා. නමුත් සත්තු ටික සුපිරියටම අන්දුන් කුන්දුන් වුනේ ඊලඟට උනු දේට. මාලි  ගිරවා තමන්ගේ ලඟට ආපු ලොවි ගෙඩිය රැක ගන්න බැරුව පත බෝක්කුවක් ඇරියා. ඒ නිසා සිම්බාවොන්ට ලකුණු 4ක් හිමිවුනා. සත්තු "අයියෝ මාලි..." කියලා විස්සෝප උනා. මේ අතරෙ නටුව කඩපු වෙලේ ඉඳන් හැමෝම පුදුමයට පත් කරමින් වීණාවේ මිහිරි නාදය තවත් වැඩි වුනා, ඒ එක්කම මාලිගේ සෙල්ලම් හැකියාව අඩු වුනා.

වීණාවේ නාදය කොයි තරම් මිහිරි උනාද කියනවනම් වටේ හිටපු වඳුරු අම්මලාගේ ඇකයේ හිටපු වඳුරු පැටව් බිමට වැටෙනව වඳුරු අම්මලාට දනුනේ නෑ. වැඳිරියො සැට් එක වීණා නාදෙට ඒ තරම් වශී වෙලා. වැඳිරියො විතරක් නෙවී හාවො, මුවෝ, ඉත්තෑවො පවා කට ඇරගෙන වීණා නාදය අහන් ඉන්නවා. නයි මුගටි එකට සැට් වෙලා සෙල්ලම බැලිල්ල නවත්තලා තුරුල් වෙලා වීනා වාදනය බලන් ඉන්නවා.

තවත් පැය භාගයක් ගෙවී යද්දි වීණා ශිල්පියා දෙල් කොල වීනාවේ නටුවෙන් තවත් කොටසක් කඩල දැම්ම. එහෙම කඩල දානකොටම මාලි ගිරව තමන්ගෙ අතට ආපු ලොවි ගෙඩි උඩපන්දුවක් අතඇරියා. නටුව දෙවන වතාවටත් කැඩුවට පස්සෙ මාලි ඇතුලු සිංහරාජෙ ගිරව් සැට් එකේම සෙල්ලම් දක්ෂතාව එන්න එන්නම අඩු වෙන බවක් පෙනුනා. මෙහෙම ගියොත් තරඟය පරදින්නත් බැරි නෑ දැන්නම්. ගිරවුන්ගෙ සෙල්ලම් විලාසෙ සවුත්තු උනත් නටුව කැඩුවා කියලා වීණා නාදයේ මිහිර නම් සවුත්තු උනේ නෑ. වීනා නද මිහිරෙන් මිහිරට පත් වෙලා බඹ ලොව දක්වා ඇදී ගියා. අතිශය කන්කලු මේ වීණා නද අහපු දෙව්ලොවේ දෙව්ලියන් පිටියට ගොඩ බැහැලා වීණා නාදයට අනුව නර්ථනයේ යෙදෙන්න ගත්තා.සෙල්ලම බලන්න ආපු සත්තු ඔක්කොම වීණා නාදයෙනුත් දෙව් ලියන්ගේ නැටුමෙනුත් මත් වෙලා ඇස් කන් ඒ දෙසටම හරවං ඉන්නවා. දෙව් ලියන්ගෙන් දුහුල් සලු පිලි හමන මද සුලඟට එහා මෙහා වෙලා දෙව්ලියන්ගේ රන් පැහැති සරාගී කලවා යුග්මත් පේනවා හොඳටම. නර්ථන ලාලිත්‍ය අනුව ඔවුන්ගේ ළැම හසුන් තාලෙට පැද්දෙන්නේ එහා මෙහා උන සලුවලින් පුන් පියවුරුවලින් අඩක් නිරාවරණයත් වෙමින් ( දෙව්ලියන් පිට්ටනියට බැහලා දාපු මේ dance එක ගැන දැනගෙන තමයි IPL එකේ උන්ට සුද්දියොන්ගෙ ගල් පේන්න කොට සායවල් ගස්සලා නටවන්න හිතුනේ ). දෙව්ලියන්ගේ නැටවෙන ඉඟ සුඟත් දඟ කරන පියවුරුත් දිහා කෙල පෙර පෙර බලන් හිටි අපේ වීණා වාදකයට අන්තිම පැය භාගයේදී නටුව කඩන්න අමතක උනා.හැබැයි ඉතින් තුන්වෙනි පාරටත් නටුව කඩන්න දෙයක් තිබ්බේ නෑ. ඒ වෙනකොටත් සිංහරාජෙ ගිරව් ටික සිම්බාවෝ ඉදිරියේ සෙල්ලම පරාද වෙලා තිබුණා. මාලි ගිරව ඉතාම දුර්වල විදියට සෙල්ලම් කරලා තිබුණා. වීණා නාදෙට මත් වෙලා හිටපු නිසා සත්තුන්ට මේ පරාජය ගැන වගේ වගක් තිබ්බේ නෑ. නටුවේ තුන්වෙනි කෑල්ල කඩන්න අමතක උනු නිසා වීණාවේ මිහිර ක්‍රමයෙන් අඩු වෙලා ගිහින් වීනා ශිල්පියගෙ සැඟවිලා තිබ්බ නියම රූපේ මතු වෙන්න ගත්තා. වීණා මිහිර අඩු වෙනකොට දෙව්ලියෝ නැවත දෙව්ලොවට වැඩියේ තමන්ගේ ඈත් මෑත් වුනු දුහුල් සලු පිලි, ලැජ්ජාවෙන් නැවත සකස් කරගන්න ගමන්. මේ සියල්ලට වඩා සත්තු පුදුමෙන් බලන් හිටියා වීණා වාදකයගේ වේශයෙන් පෙනී හිටල නැවත මතු උනු සෙල්ලම් රිලවා දිහා.

සත්තුන්ට තේරුණා ගිරවුන්ගේ පරාජය පිටිපස්සේ සෙල්ලම් රිලවගේ කුමන්ත්‍රණයක් තිබ්බ බව. ඒකට උරණ වෙච්ච සත්තු සෙල්ලමාව වට කරගෙන විරෝධය පාන්න ගත්ත. සෙල්ලම් රිලවට තේරුණා තමන් අම්බානක කන්නයි යන්නේ කියලා. නමුත් රිලවගේ වාසනාවට රිලවට පක්ෂපාතී සත්තු සැට් එකකුත් එතන ඉඳලා රිලවව ගලවගන්න ඉදිරිපත් උනා. දැන් එතන මහා ගාලගෝට්ටිය. සත්තු හැමෝම බැනගන්නවා හරියට මාලු කඩේ සද්දෙ වගේ. මේ මහා බැන දොඩා ගැනීමේ සද්දේ සක්‍රයටත් ඇහිලා පඬුපුල් ආසනේ පිච්චිලා ගියා සක්‍රයාගේ පුක කර වෙලා යන වෙන තරමට. සක්‍රයාට මල පැන්නා එකසිය ගානට. පුක පිච්චුනා මදිවට කන්දෙක බීරි වෙලා යන තරම් සද්දෙට සත්තු බැන ගන්නවා. සක්‍රයාට තේරුණා සත්තුන්ට කතා කිරීමේ වරම දීපු එක එතරම් හොඳ වැඩක් නෙවී කියල.මොකද ඒ වෙද්දී මිනිස්සුන්ටත් කතා කරන්න පුලුවන් කම දීලයි තිබ්බේ. ඒ අස්සෙ සත්තුත් කතා කරන එක සක්‍රයට මහ වදයක් වෙමින් තිබුණා. සක්‍රයා වහාම සෙල්ලම් පිටියට වැඩම කලා. සක්‍රය ආපු බවවත් සිහියක් නෑ සත්තුන්ට. උන් හැටට හැටේ බැනගන්නවා. සක්‍රයා මහා බලගතු මන්තරයක් මැතිරුවා. මතුරලා ගැහුව වැලි අහුරක් සතුන්ගේ දිහාවට. මල කෙලියයි ජූලි හතයි පිංවතුනි, සත්තු ඔක්කොම එක පාරට ගොලු වෙලා ගියා.සත්තුන්ට කතා කිරීමේ හැකියාව නැති උනේ එදා ඉඳල තමයි. ඒ වෙලාවේ තමන්ව වටකරගත්ත මාධ්‍යවේදී කුරුල්ලොන්ගේ කටකැඩිච්ච ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා මාලි ගිරවාට මල පැනලා මාධ්යවේදී සැලලිහිනියෙක්ට බනිමින් හිටියේ ,
"වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න..." ඒ තමයි මාලි ගිරව කතා කල අන්තිම වචන කිහිපය.

Saturday, July 1, 2017

ගිරා රිලා හටන් ඉතිහාසය - 1





අද කියන්න යන්නේ මීට ගොඩාක් ගොඩාක් කලෙකට කලින් උනු කතාවක් ගැන. කොච්චර කාලෙකට කලින්ද කියනවනම් සත්තුන්ටත් කතා කරන්න පුලුවන් කාලේ කතාවක්. මිනිස්සු කියන සත්ව කොට්ටාශය ඒ තරම් දියුණු නෑ ඒ කාලේදී. මිනිස්සු වර්ග හිටියේ දෙකයි.එකක් තාපසයො අනික වැද්දො.ඒ කාලේ තිබුණා සිංහරාජ කියල මහ විසාල වනාන්තරයක්.සිංහරාජ කිව්වට එකේ හිටපු සින්හයෙක් නෑ. ඒ නිසා මේ කැලෑව පාලනේ කරේ වඳුරන් විසින්. කැලේ පාලනය බාර වෙන්න ඕනි කාටද කියන එක තීරණය උනේ වඳුරන්ට පමණක් සීමා වුනු ඡන්දයකින්. කැලේ ඉන්න නුවණැතිම සත්තු උනේ වඳුරන් නිසා ඡන්ද බලේ තිබ්බේ උන්ට විතරයි.ප්‍රධාන වඳුරු රන්චු දෙකක් අතර කැලේ පාලනය විටින් විටේ හුවමාරු උනා.මේ රන්චු දෙක හිටියේ කැලේ මැදින් ගලාගෙන ගියපු කුඩා දිය පාරක දෙපැත්තේ.කැලේ පාලන බලය හිමි වෙන කණ්ඩායම වෙසෙන ඉවුර රජ ඉවුර ලෙසත් අනික් ඉවුර මඩ ඉවුර ලෙසත් හඳුන්වන්න කැලේ සත්තු පුරුදු වෙලා හිටියා.ඔය රංචු දෙක අතරෙ හිටියා බලේ මාරු වෙන වෙන පාරට ඉවුරු අතර කරණම් ගහන වඳුරො ජාතියක්.දිගින් දිගටම පැවත ආපු මේ කරණම් ගහන වඳුරු වර්ගය නිසා තමයි සත්ව ලෝකයට රිලව් කියල සත්ව කොට්ඨාශයක් බිහි වෙන්නේ.නැත්නම් ඇත්තටම හිටියේ වඳුරෝ විතරයි.මේ රිලව් සැට් එක අතරෙ හිටියා තරුණ කඩවසම් රිලවෙක්. ඌ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට සුපිරි කරණම් ගහපු බඩුවක්. ඒ වගේම දිව දෙකේ කතා කියන්නත් ලස්සනට සින්දු කියන්නත් මේ රිලවා සූරයෙක්. ඒ නිසා කවුරුත් මේ රිලවට කිව්වේ අම්ම්ටසිරි රිලවා කියලා.අපි මේ කියන කාලේ වෙද්දි කැලේ රජ ඉවුර එක් පැත්තකින් අනික් පැත්තට මාරු උනු අලුත. ඉතින් සුපුරුදු පරිදිම අම්මටසිරි රිලවා බඹයක් අහස උසට උඩ යන ලෙස හත් වටයක් කැරකිලා පරණ රජ ඉවුරේ ඉඳන් අලුත් රජ ඉවුරට ගැහුවා සුපිරි කරණමක්. අලුත් වඳුරු රජා මේ සුපිරි කරණම දැක සෑහෙන පුදුමයට පත් වෙලා  අපේ රිලවට බාරදුන්නා කැලේ සෙල්ලම් පරිපාලනය. එතැන් පටන් අම්මටසිරි රිලවා හැඳින්වුනේ සෙල්ලම් රිලවා කියලා.

ඒ කාලේ කැලේටම තිබුණේ එකම එක සෙල්ලමක් විතරයි. ඒ සෙල්ලම කලේ කුරුල්ලෝ විතරයි. මේ සෙල්ලමට කිව්වේ ගෙඩි  ඇතිල්ලීම කියලා. ඒක කලේ ලොවි ගෙඩියක්  හා බට පතුරක් භාවිත කරගෙන. පිල් දෙකකට බෙදිල කරන මේ සෙල්ලමේදී එක් පිලක කුරුල්ලෙක් තමන්ගේ  කකුලෙන් ලොවි ගෙඩිය තල්ලු කරල යැව්වම බට පතුර හොටෙන් ගත්ත අනික් පිලේ කුරුල්ලෙක් ලොවි ගෙඩියට ගහනවා. වැඩිය විස්තර කරන්න දෙයක් නෑ මොකද මේක තනිකරම අපේ cricket ක්‍රීඩාව වගේමයි. Cricket ක්‍රීඩාවේ ආරම්භය සිදු වුනේ සිංහරාජේදී බව පුරාණ සෙල්ලිපි වල පවා සඳහන්.කොහොමින් කොහොමින් හරි සිංහරාජේ මේ සෙල්ලම කලේ ගිරව් සැට් එකක්.ඔය සැට් එක අතරෙ හිටියා කැපී පෙනෙන ගිරව් දෙන්නෙක්.එකෙක් "මලසේකර" අනිකා "මාලි".

මේ ගිරව් දෙන්නා පොඩි කාලේ හැදුනෙ එකම ගස් බෙනේක. නමුත් හිටි හැටියෙ ආපු මහ කුණාටුවක් නිසා මේ දෙන්නා මිනිස් වාසය තිබුනු පෙදෙස් දෙකකට ගසාගෙන ගියා.එක්කෙනෙක් තාපසයන් සිටි ආරාම පෙදෙසට යද්දි අනිකා විසි උනේ වැද්දන්ගේ ගුබ්බෑයම් පෙදෙසට. තාපසයන් අතර හැදෙන කෙනා ඉතා සංයමයෙන් හා බුද්ධියෙන් මුහුකුරා යද්දී අනිකා වැද්දන් අතර වැඩෙමින් කලහයට හා කටකාරකමට බර උනා. වයසින් මුහුකුරා ගිහිල්ලා පියාඹන්න පුලුවන් වෙද්දී දෙදෙනාම නැවත සිංහරාජය සොයාගෙන ආවා. ක්‍රියාවෙන් තැන්පත් බුද්ධිමත් මෙන්ම භාෂාවේ ප්‍රවීණයෙකු වූ  තරුණ ගිරවා එතැන සිට හැඳින්වුනේ මලලසේකර ගිරවා නමින් ( අපේ මලලසේකර ස්ද්දකෝෂේ නමට මුල් වුනෙත් ඒ තාපස පරම්පරාවෙන් ආපු මේ ගිරවා කියල පරණ පත්තරේක තිබ්බා මට මතකයි.) .එය කෙටි වී මලසේකර බවට පත්වුණා. කටට බ්‍රේක් නැති දබරයට බර අනික් ගිරවාගේ බෙල්ලේ මාලයක්ද තිබූ බැවින් ඌ මාල ගිරවා ලෙස හැඳින්වුනා.උගේ පෙඳේ අනික් ගිරවුන්ගේ වගේ කොල පාට නොවී තඹ පාටක් තිබුණා. ඒ විතරක් නොවේ මාල ගිරවගේ පෙඳේ කැරලි ගැසිලා තිබ්බා හරියට සිංහයෙක්ගේ කේසර වගේ. මාල ගිරවාගේ තිබුනේ මොඩ් ගිරවෙක්ගේ පෙනුමක්. ඒ නිසා මාල ගිරවා නම පොඩ්ඩක් මොඩ් කරලා අරන් මාලි බවට නම වෙනස් වුනා. ඉතින් කල් යද්දි මාලිත් මලසේකරත් බෝල අතුල්ලන සෙල්ලම කරන්න පටන් ගත්තා. ටික කලක් යද්දිම මේ දෙන්න ඒ සෙල්ලමේ හොඳම දක්ෂයෝ දෙන්නෙක් බවට පත්වුණා. අනික් වනාන්තරත් සමග පැවැත්වුණු බෝල ඇතිල්ලීමේ තරඟ වලින් සිංහරාජයට ජයග්‍රහණ බොහොමයක් ලැබුනේ මේ දෙන්නගේ දක්ෂතාවය නිසා. ඒ දක්ෂතාවට ඇගයීමක් වශයෙන් වඳුරු රජයෙන් අපේ ගිරව් දෙන්නට මදි නොකියන්න පළතුරු වලින් සංග්‍රහ කලා.ඉතින් මේ දෙන්නා හොඳින් බෝල අතුල්ලන ගමන් බඩකට පුරා පළතුරු කමින් සතුටින් ජීවත් වුනා. මේ දෙන්න ගැන නොදන්න වනාන්තරයක් තිබුනේ නෑ. විශේෂයෙන්ම මාලි ගිරවා හැම වනාන්තරයකම ජනප්‍රිය තරුව බවට පත් වුණා. හැම කුරුල්ලෙක්ටම ඕනි උනා උන්ගේ පෙඳේ මාලිගෙ වගේ තඹ පාට කැරලි කැරලි සිස්ටම් එකට හදා ගන්න.

අවුරුදු ගනන් කාලය ගෙවී යද්දී මලසේකර හා මාලි දෙන්නගෙම ඇඟ ටික ටික මහත් වෙන්න ගත්තේ කාපු අධික පලතුරු ප්‍රමාණය නිසාමද මන්ද. ඒ අතරෙ දෙන්නම ක්‍රමයෙන් තමන්ගේ තරුණ විය පසු කරමින් සිටියා. ඒ දෙන්න තරුණ විය පසු කරනව වගේ සිංහරාජේ බෝල ඇතිල්ලීමේ සෙල්ලමත් ටිකෙන් ටික පහුබහින්න අරගෙන තිබුණා. එක දිගටම තිබ්බ සෙල්ලම් තරඟ පරාද වීම නිසා සෙල්ලම් රිලවා සිටියේ හොඳටම කේන්තියෙන්. මේ විදියට එක දිගට පරදින්න ගත්තොත් තමන්ගේ සෙල්ලමා තනතුරටත් කෙල වෙන්න පුලුවන් කියලා රිලවට තේරුණා.මේ පරාජයන්ට ලොකුම හේතුව විදියට රිලවා දැක්කේ අපේ ගිරව් ඩබලගේ තඩි බඩවල් එක්ක තියෙන ජොහොර ඇඟ. සෙල්ලමා සද්දයක් දැම්මා ගිරා කණ්ඩායමටම,
"ඔයාලගේ fitness මදි ඔහොම කෝමද සෙල්ලම් කරන්නේ?" කියලා.
"ඔච්චර බඩවල් තියන් අඩි 10ක්වත් හති වැටෙන්නේ නැතුව පියාඹන්න බෑ",
කියලා සෙල්ලම් රිලවා ගිරවුන්ට දොස් කිව්වා. මේ කතාව අහපු මාලි ගිරවාට මල පැන්නා ලෙසටම. මාලි තැන තැන සෙල්ලම් රිලවාට බනින්න ගත්තා. ගිරවගේ බෙනේ ගැන දන්නේ ගිරවා මිසක් රිලවා නෙවෙයි කියලා මාලි සෙල්ලම් රිලවාට කෝචොක් කලා. හිටපන් තොට අඹරලා දෙන්න කියල හිතන් සෙල්ලමා යෝජනා   ගිරා fitness test එකක්. Test එකේදි බැලුවේ වේගයෙන්ම පියාඹන්න පුලුවන් කාට්ද කියලා. හැමෝම පුදුමයෙන් පුදුමයට පත් කරමින් test එකේදී වැඩිම වේගයෙන් පියෑඹුවේ වයසින් වැඩිම හා බඩිනුත් වැඩිම මලසේකරයි මාලියි. මාලි උජාරුවෙන් සෙල්ලමා දිහා බැලුවා නෝන්ඩියට වගේ. මාලිටත් වඩා මේකේ ලල් එක ආවේ මාලිගේ ප්‍රේක්ෂකයොන්ට.

මේ ප්‍රතිඵලත් එක්ක සහ ගිරා බෙනේ කතාවත් එක්ක සෙල්ලමා නෝන්ඩි වෙලා ගියා. කැලේ පුරා ඉන්න පොඩි පොඩි හාවෝ, ඉත්තෑවො, පැණි කුරුල්ලො වගේ සත්තුත් සෙල්ලම් රිලවාව විහිලුට ගන්නට උනා. හැමෝම මාලිව වීරයා කරගනිමින් සෙල්ලමාට අපහාස උපහාස කරන්න ගත්තා. දැන් යන යන තැන සෙල්ලමාට ඇනෙන්න කැලේ සත්තු එක එක කතන්දර කියනවා. "කෝ බෙනේ size එක බැලුවද හූ හූ " අහනවා..මේ නිසා සෙල්ලම් රිලවා හිටියේ ගොඩක් වේදනාවෙන්.

Test එක ඉවර වෙලා ටික දවසකින් සිංහරාජේ ඊලඟ බෝල ඇතිල්ලීමේ තරඟෙටත් දින ලං වුනා. මේ තරගෙ යෙදිල තිබ්බේ ඉතාම ඈත තිබ්බ කුඩා කැලේක මෙලෝ රහක් නැති කවුරුත් වැඩිය දන්නෙත් නැති සිම්බාවෝ කියල කුරුල්ලො සැට් එකක් එක්ක. පහුගිය ටිකේ තිබ්බ තරඟ එකපිට පැරදුනත් මේක නම් ලේසියෙන්ම දිනන්න පුලුවන් කියලා මුලු සිංහරාජෙම විස්වාස කලා. ඒ නිසා සිංහරාජෙ සත්තු හිටියෙ තරඟෙ බලන්න සැදී පැහැදිලා. ඒ උනාට සෙල්ලම් රිලවා නම් හිටියේ ෆුල් අවුලෙන්. මේ තරඟෙදි මාලි ගිරවා උඩින්ම දක්ෂතා පෙන්නුවොත් තමන්ගේ ඉතිරි වෙලා තියෙන සායමත් යනවා කියලා රිලවාට තේරුණා. එහෙම වුනොත් ඉතින් කැලේ වසනවා බොරු. මේ ගැන දුක් වෙමින් හිටි සෙල්ලමාට ආව නියම අයිඩියාර් එකක්.......


දෙවනි කොටසට ->